Pages

Monday, February 21, 2011

ලෝක කුසලානය සහ 'බැද්දගානේ රොබින් හු‍ඩ්'

කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වුනා. එසේ මෙසේ කාලෙකුත් නෙවෙයි. අවුරුදු දෙකකටත් කිට්ටුයි! මිනිස් වාසයක් නැතුව වල්බිහි වෙලා, කැලෑවට ගිහින් තිබුනු බ්ලොග් එක සුද්ද-බුද්ද කරල, මකුළු දැල් කඩල, තීන්ත ටිකක් ආලේප කරල ගත්තෙ අදයි ඕං! ඉඩකඩ තියෙන වෙලාවට මොනවා හරි මනෝ විකාරයක් ලියා දාන්නයි බලාපොරොත්තුව!

ලෝක කුසලාන‍යේ, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුනු පළමු තරගය ඊයේ පැවැත්වුනා, සූරියවැවදි. විශාල ජනතාවක් තරගය බලන්න ඇවිත් හිටපු බව රූපවාහිනියෙන් දැක්කා. තරගයට කලින්, කැනඩා පිලේ නායක‍යා නම් කියල තිබුනෙ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය පළමු තරගයෙන් ම බොඳ කරන්නට තමන් උත්සාහ කරන බවක්. එතුමා එහෙම කිව්වෙ තමන්ගෙ ප්‍රතිවාදියාගේ තරම නොදැන වෙන්න නම් කොහොමත් බැහැ. නමුත් තරගයකට පෙර එහෙම පුරසාරම් දොඩන එකෙන් තමන්ගෙ කණ්ඩායමේ ‍'මොරාල්' එක හදාගන්න උදව් වෙනවා වගේම, කණ්ඩායමට යම්කිසි අවධානයක් ලබාගන්නත් හේතු වෙන්න පුළුවන්. කොහොම වුනත් අපේ කණ්ඩායම ඒකට නිසි පිළිතුරු ඊයේ ලබාදුන්නා.

මේ තරගයෙන් අපේ කණ්ඩායම ලැබූ ජයග්‍රහණය නිසා ලැබුණු සතුට වගේම, 'සූරියවැව' කියන නම ජාත්‍යන්තරයට ගිය එක ගැනත් ඒ පළාතෙ උදවියට දැනෙනවා ඇත්තෙ ලොකු සතුටක්. මීට ටික කාලෙකට කලිනුත්, ඇඹිලිපිටිය, සූරියවැව, සූරිය කන්ද කියන පළාත්වල නම් ජාත්‍යන්තරයට ගියා. හැබැයි ඒ, සමූහ මිනී වළවල්, දුසිම් ගණනින් කෙරුනු සිසු ඝාතන, පාරක් පාරක් ගානෙ තිබුනු ටයර් සෑයවල් වගේ ‍දේවල් නිසා.

ලෝක කුසලානයට මුවාවෙලා, ජනතාවගේ ජීවන වියදම වැඩිවීමට විසඳුමක් හොයන වැඩෙන් ආණ්ඩුව කර අරින බවයි විපක්ෂයේ උදවිය චෝදනා කරන්නෙ. යාන්තමටවත් කාල බීල ජීවත් වෙන එක සෑහෙන දුෂ්කර කාරියක් වෙලා තියෙන එකනං හැබෑවක්. බඩුමිල අහස උසට නැගල. පහුගිය දවස්වල තිබුනු ගංවතුරෙන් වගා පාළුවීමත් මේකට එක හේතුවක්. අපේ රටේ ඉන්න 'ජනහද හඳුනන - සුහද හදක් ඇති' සර්ව සාධාරණ මුදලාලිලාගෙන් නම් බඩුමිල වැඩිවීමට කිසිම බලපෑමක් වෙන්නෙ නෑලු. අවුරුදු කාලෙ වෙනකොට හාල් මිලත් වැඩිවෙයි කියල තමයි අනාවැකි කියවෙන්නෙ. පොල් මිලත් තාම නැගපු තැනමයි. පහුගිය කාලෙ ඉවක් බවක් නැතුව පොල් ඉඩම් කට්ටි කරල විකුණනකං බලං හිටපු, ඒවට අනුබල දීපු, දැන් ආණ්ඩු කරවන උදවිය වගේම ඒ කාලෙ ආණ්ඩු කරවපු උදවියත් මේකට වගකියන්න ඕන. මොකද ඔය අපරාදෙ කෙරුණෙ දැනට සෑහෙන් කාල‍කට කළින් ඉඳන් නිසා. දැන්නං පොල් ගස් කපන එක තහනංලු. අස්සයා පැනල ගිහිං කාලාන්තරේකට පස්සෙ ඉස්තාලෙ වහන්න මතක් වෙලා තියෙන්නෙ,  ඌ ආපහු ඇවිත් රිංග ගනී කියලද දන්නෙ නෑ.

කොහොම වුනත්, ජීවන වියමද උහුල ගන්න බැරි, බඩගින්නෙ මැරෙන්න යන ජනතාව දැන් දැන් කෑම-බීම මංකොල්ල කන්න පටන් අරන් කියලයි ලංකා ඊ නිව්ස් 'මාධ්‍ය  ආයතනය' නම් කියන්නෙ. දකුණු පළා‍තෙ නගරයක‍ට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුනු ලොරියක්, රත්මලානෙදි කොල්ල කාලා. හිස් ලොරිය පිලියන්දල තිබිල හම්බ වුනාලු ඊට පහුවෙනිදා. 'ලංකාදීප' ය වාර්තා කරන හැටියට නම්, කොල්ල කාපු ආහාර තොගය වගේම මේ කොල්ලයේ මහ මොළකාරයා බැද්දගානේ කියලත් පොලිසියෙන් හොයාගෙන. (බැද්දගානේ මීට කළිනුත් මහ මොළකාර‍යො ඉඳල තියෙනවානෙ)

'ලංකා ඊ නිව්ස්‍' වාර්තාව දැක්කට පස්සෙ මට මෙහෙම අදහසක් පහළ වුනා. සමහරවිට, මේ අය මේ ආහාර ලොරිය කොල්ල කන්න ඇත්තෙ, ජීවින බරින් මිරිකෙන, පීඩිත ජනතාවට නොමි‍ලේ බෙදල දෙන්න වෙන්න ඇති. කොල්ල කාපු බඩු කොහෙ හරි තැනක දාලා යන්න ඇත්තෙ පස්සෙ දවසක බෙදල දෙන්න හිතාගෙන වෙන්නත් පුලුවන්. එහෙම නැත්තං (ඒක ප්‍රායෝගික නැති නිසා) මිනිස්සුන්ට දැනුම් දෙන්න හිතාගෙන ඉන්න ඇති, "අන්න අහවල් තැන කෑම තියෙනවා. ගිහිල්ලා ගනිල්ලා!" වගේ දෙයක්. මේක පළමු අත්හදා බැලීම වෙන්නත් පුළුවන්. සුපිරි වෙළඳ සැල් වලින්, සමූපකාර වලින් කොල්ලකන බඩු, පීඩිත ජනතාවට බෙදල දෙන 'රොබින් හුඩ්' කෙනෙකුගේ ආගමනයක් ගැන සැළවෙන පෙරමග සළකුණු තමා මේ කියලයි මටනම් හිතෙන්නෙ. හැබැයි එහෙම වුනොත් මේ අයට නොමිලේම මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ලංකා ඊ නිව්ස් ඉදිරිපත් වෙන බවට නම් කිසිම සැකයක් නෑ. 
"පීඩිත ජනතාවට ජය වේවා! බැද්දගානේ 'රොබින් හුඩ්' ට ජය වේවා!!"

Thursday, May 7, 2009

ආයුබෝවන්.....!

වම්බොට්ටාගේ සිංහල බ්ලොග් අඩවිය බලලා යන්න ආපු හැමෝටම මෙන්න මගේ ආචාරය! මේකට ‍මනෝ විකාර කියලා නම දැම්මට, නියම නම තමයි මනෝ මූලික සිද්ධාන්ත..! බරපතල වැඩිද මන්ද)
ඉතින් කොහොම උනත්, ‍ මේක කාලෙක ඉදන් කරන්න ආසාවෙන් හිටපු දෙයක්. බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලා කිසිම අයිඩියා එකක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නකොට ඔන්න අහම්බෙන් හම්බවෙනවා... මොකක්ද.......? සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදයේ වෙබ් අඩවිය. ඒක පවත්වාගෙන යන මහත්වරැන්ට පිං සිද්ධ වෙන්න ඔන්න වම්බොට්ටාත් බ්ලොග් ගැන දැනුවත් උනා. මෙන්න ඒකෙ ප්‍රතිඵල....!

ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගන්නයි යන්නේ........................